මේ කාලයේ බොහෝදෙනා අතර දක්නට ලැබෙන ප්‍රධානතම රෝගයක් වන්නේ ගැස්ට්‍රයිටිස් රෝගයයි. කොටින්ම කිව්වොත් කුඩා දරුවන්ට පවා දැන් ගැස්ට්‍රයිටිස් රෝග වැළඳෙන අවස්ථා දක්නට පුළුවනි. විශේෂඥ ශල්‍ය වෛද්‍ය රනිල් ජයසේනට අනුව නම් මෙකී රෝගය මේ තරම් ව්‍යාප්තව පවතින්නේ ආහාර රටාවේ වෙනස්කම්, ජීවන පුරුදු වගේම සමාජය තුළ ඇති තරගය හා පීඩනය නිසා ඇතිවන මානසික ආතතිමය තත්ත්වය නිසයි. ආමාශය, ගලනාලය, ග්‍රහනිය, අන්ත්‍ර ආදියේ තුවාල ඇතිවීමත්, පසුව ඒවා විවිධ පිළිකාමය තත්ත්වයන් දක්වා වර්ධනය වීමත් මේ නිසා සිදුවන්නට පුළුවනි.
විශේෂඥ ශල්‍ය වෛද්‍ය රනිල් ජයසේන මෙබඳු තුවාල සහිත රෝගීන්ට ඒ රෝගවලින් සහනය ලබන්නට ලබාදුන් විශේෂ උපදෙස් කිහිපයක් තමා මේ.
• මිරිස් තුනපහ සහ කුළුබඩු ද්‍රව්‍ය වැඩිපුර ආහාරවලට යෙදීමෙන් වැළකීම ඉතාමත් වැදගත්. සැර අධික මෙබඳු ආහාර මඟින් තුවාල තවත් අසාධ්‍ය මට්ටමකට පත්කරන්න පුළුවනි.
• තෙල් අධික හෝ තෙම්පරාදු කළ ආහාරවලිනුත් වැළකිය යුතුයි.
• ආහාර ගැනීමෙන් පසු අඩුතරමේ පැය 3ක කාලයක් නින්දට යාමෙන් වැළකිය යුතුයි.
• ආහාර ගොඩ ගොඩවල් එකවර ගිල දමන්නේ නැතිව කුඩා ආහාර වේල් කිහිපයකට පුරුදු වීම වැදගත්.
• ගන්නා ආහාර හොඳින් සපා කෑමට පුරුදු විය යුතුයි. සාමාන්‍යයෙන් ආහාර වේලක් ගැනීමට පැය කාලක්වත් ගතකළ යුතුයි.
• නිදාගන්නා විට ඇඳේ ඉහ පැත්ත අඟල් අටක් පමණ උසට තිබෙන සේ සකසා ගැනීම මේ රෝගීන්ට ඉතාමත් පහසුවක්.
• ඇඟට හිර ඇඳුම් ඇඳීමෙන් වැළකිය යුතුයි.
• වඩාත්ම වැදගත් දෙය වන්නේ ජලයයි. දිනකට ජලය ලීටර 3ක් වත් පානය කළ යුතුමයි. එය පුරුද්දක් කර ගැනීම වැදගත්.
• තේ කහට, කෝපි, චොක්ලට්, මාමයිට් භාවිතය අත්හරින්න. මත්පැන්, දුම්වැටි, බුලත්වලින් වළකින්න.
• රතු කැකුළු බත්, එළවළු, පැපොල්, කෙසෙල් වැනි කෙඳි සහිත පළතුරු වර්ග වැඩිපුර භාවිතා කරන්න.
• මානසිකව ආතතියෙන් මිදී සැහැල්ලුවෙන් සිටීමට වගබලා ගන්න. දිනපතා ව්‍යායාම පද්ධතියක යෙදීම ඉතාමත් හිතකරයි. ස්ථූල ශරීරයක් ඇතිවිට බර අඩුකර ගැනීමට ක්‍රියාකළ යුතුයි.
මේ කරුණු සිතට ගෙන ඒවා සාමාන්‍ය ජීවිත පුරුද්දක් බවට පත්කර ගැනීමෙන් ඔබට නිරෝගී ආහාර ජීර්ණ පද්ධතියක් පවත්වාගෙන සුවදායි ජීවිතයකට මඟපාදා ගත හැකියි.